මුල් පිටුව ත්‍යාගශිලී බව 133 ස්වර්ණ හංස ජාතකය

133 ස්වර්ණ හංස ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක්තරා උපාසකයෙක් ළූනු වත්තක් කොට භික්ෂූන් වහන්සේ බොහෝ දෙනාට ළූනු කඩා දෙන්නේය, මේච්චරටත් කඩා ගණුවයි කියා උන් ලවාම කඩවාත් යවන්නේය. භික්ෂූණි වහන්සේත් ඔහුට කියා ඔහු කීව් වරක් කපා කොටා තමන් වහන්සේ හෝ කඩාගෙණයනසේක. උපාසකයා හෝ කඩා දෙන්නේය, මේ නියායෙන් දවස් හරණා සමයෙහි එක් දවසක් උත්සවයක් නිසා බොහෝ දෙනා ගෙට අවුත් ළූනු කඩාගෙණ ගියාහ. ඒ වේලාවට නන්ද නම් භික්ෂූණි කෙණෙකුන් වහන්සේ ඔහුගේ ගෙට එදවස් අවුත් උපාසකයෙනි ළූනු දෙවයි කී සෙයින් උපාසක තැනත් ළූනු දීපියා සිටි ප්‍රස්තාවට ඉල්වූ හෙයින් නුඹ වහන්සේ මේ ළූනු වත්තට ගොසින් ළූනු තුනක් කඩා ගත මැනවැයි කීය, එබස් අසා තමන් වහන්සේගේ මෙහෙණින්නන් හා සමග වත්තට ගොස් ළූනු එකසීම කඩා ගෙණ ගියසේක, එවිට උයන් ගොව්වාත් නොකියන් ඉන්ද දී මෙසේ වූ අන්‍යකෙරෙද්දැයි කියා මුරගෑය, උපාසකයාගේ සිතිවිල්ල කළ කිරුණ ඒ ඇසූ බොහෝ මෙහෙණින් වහන්සේත් උස්කොටනා කොට වදාළසේක. භික්ෂුණී වහන්සේත් උස් කොටනා කොට එපවත් සර්වඥයන් වහන්සේට දැන්වූසේක, සර්වඥයන් වහන්සේත් එපවත් අසා මහණුන් විසින් නම් දුන් දෙයක් විනා නුදුන් දෙයක් ඇරගතයුතු දැයි බොහෝ තෘෂ්ණාවෙන් අත සිටි දෙයක් නැසී යන්නේ ඔබ්බෙන් ලබන ලද දෙයක් නැත, ලත් දෙයෙහි සතුටු වීමෙන් ඔබ්බෙනුත් සම්භවෙයි අත සිටි දෙයත් තාවුරුවෙයි කියා බොහෝ කොට භික්ෂූන් වහන්සේ මෙහෙණින්නන්ට නින්දා කොට මහණෙනි පෙරත් මේ මෙහෙණින්න බහුවිතත ඇත්තීවේදැයි වදාර ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේදැයි යතහොත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ බමුණු කුලයක ඉපද දූන් තුන්දෙනා ගෙණ එකෙක් නන්දාය, එකෙක් තත්වනිය, එකෙක් සුන්දරී නන්දනීයයි. දූන් තුනදෙනෙකු ලදින් ඔබ්බේ පරකුලයෙක ලන්ට විවාහ කරන්නට පළමු මපියවූ බෝධිසත්වයන් වහන්සේ මිය ගොස් ස්වර්ණහංසව ඉපද ජාති සමරණ ඥාණයෙන් මේ හංස ජාතියට පළමුවෙනි ජාතියෙහි බ්‍රාහ්මණ කුලයෙහි උපන් නියාවත් බැමිණිය හා දූන් තුන්දෙනා අනුන්ට බැලමෙහෙකොට රැකෙන නියාව දැක මාගේ පියාපත් රන්පියාපත් විසින් කැපීම් තැලීම් ආදීවූ කර්මාන්තයට නිසිව තිබෙයි එසේහෙයින් මාගේ අඹුදරුවන්ට සංග්‍රහ පිණිස මවිසින් දෙමසින් එතනට ගොස් පියාපත් ඵල ඵලා ආන්නම් යහපතැයි සිතා දවසක් තමන්ගේ ගෙට අවුත් පළයපිට උන්කල්හි දූන් තුන් දෙන විසින් තොපි කවුරුදැයි විචාරන්නා තොප ඇමට පියවූ බ්‍රාහ්මණයානෝ නම් මමය තොපට හා තොපගේ මෑණියන්ටත් සංග්‍රහ පිණිස ආමි කියා රන්පතක ඵලා ගියහ. මෙම නියායෙන් කීපවාරයෙක රන්පත් ඵලා සිටි කල්හි එක් දවසක් බැමිණි සිතන්නී තිරිසනා නම් එක් සිතක් නොවන්නාහ. ඉදිරියේ මෙතනට නොයෙමි සිතුවොත් අපට බොහෝ අලාභයයි සිතා දූන් කැඳවා කියන්නී තොපගේ පියානන් දවසෙක අල්වාගෙණ ඇඟ පියාපත් උදුරා ගනුවයි කීහ. එපවත් උන්ගේ දූන් තුන්දෙන කියන්නාහු අපගේ පියානන් වහන්සේගේ සර්වාංගය රිදෙයි අපි එලෙස නූදුරම්හයි කීහ. මෙසේ නියායෙන් කිය කියා උන් කලට හංසයා ඒ ගෙට ආවේය, එකල්හි බැමිණි කියන්නි ස්වාමි පුත්‍රයා මා කරා එවයි කියා කැඳවූ කල්හි එවිට බෝධිසත්වයන් වහා උන් කරා එන්නාම අල්වාගෙණ සර්වාංගයේ රෝමයන් උදුරා ගත්තාහ. බෝධිසත්වයන් නොමනා අභිප්‍රායෙන් උදුරා ගත් හෙයින් සියළු රන්පත් නිස්ප්‍රභාව ගියේය, බෝධිසත්වයෝ පියාපත් නැතිහෙයින් යානොහී හිම ගෙයිම උන්නාහ. දෙවෙනිව ඇවිත් වතලොම් සුදුපා ඇතිවන්නා බෝධිසත්වයන් ඇරපූවාහ, එතැන් පටන් බෝධිසත්වයෝ ගෙට නොආවිරූහයි වදාරා මහණෙනි තෘෂ්ණාවගේ අධිතත්වය නිසා යෙහෙන් සෙමෙන් ලැබ ගන්නා රන්පත් ලැබගන්ට නුවූයේ වේදැයි වදාරා එසමයෙහි බැමිණි නම් මේ නන්දා නම් මෙහෙණින්නය.

එසමයෙහි දූන් තුන්දෙනා නම් මෙසමයෙහි දූන් තුන්දෙනාමය. ස්වර්ණ හංසව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්මයයි වදාරා ස්වර්ණහංස ජාතකය නිමවා වදාළසේක.