51ඛදිරහාර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙක්හි මෛත්‍රී නැමැති ජලයෙන් නිමවන ලද කොපාග්නි ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් අනේ පිඩු මහ සිටානන් අරභයා මේ ජාතකය වදාළ සේක.

අනේ පිඩු මහ සිටානෝ විහාරයම උදෙසා සුපණස් කෙළක් ධන සර්වඥ ශාසනයෙහි ම විසුරුවා රත්නත්‍රයෙහි සරණ හැර අන් තැනෙක්හි රත්න සංඥාවක් නූපදවා සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන කල්හි දවසක් පාසා තුන් විටකම උපස්ථානයට යන්නාහුය. උදෑසනම එක්වරෙක යෙති. දාවල් බත් අනුභව කොට ඉක්බිති එක්වරෙක යෙති. සවස් වේලෙහෙි එක්වරෙක යති. තවත් අතරතුරෙහි උපස්ථානයට යෙති. මෙසේ යන්නාවූ අනේපිඩු මහ සිටානෝ කුමක් ඇරගෙණ අවුදෝහෝයි සාමණේරයන් වහන්සේ හා ලදරු භික්ෂූන් වහන්සේ මාගේ අත බලනසේක් වේදැයි කියා සිස් වූ අතින් එක් දවසකුත් නොගිය විරූය. උදෑසන යෙත් නම් කැඳ අවුළු පත් ගෙන්වා ගෙණ යෙති. වළඳ අන්තයෙහි යෙත් නම් ගිතෙල් මී උක්සකුරු ආදිය ගෙන්වා ගෙණ යෙති. සවස් වේලෙහි යෙත් නම් සුවඳ මල් හා සිවුරු පිළි ආදිය ගෙන්වා ගෙණ යති. මෙසේ දවසක් දවසක් පාසා කරන්නාවූ වස්තු පරිත්‍යාගයෙහි ප්‍රමාණයෙක් නැත්තේය. වෙළඳාම් කරන්නා වූ බොහෝ දෙනෙත් ඒ සිටානන්ට පත් අටළොස් කෙළක් වස්තු නය ගත්තාහුය. ඒ වස්තු මහා සිටානෝත් නොඑලවති. අනික් මතුන් මිත්තන් ආදීන් සන්තඛ අටළළොස් කෙළක් වස්තු ගංතෙර නිධානකොට තබන ලද්දේය. ඒ වස්තු වරින්වර ඟඟ මහ වතුර ඊමෙන් ගංඉවුරු බුන් කල්හි මහා සමුද්‍රයට වැද ඇස් ඔබන ලද පරිද්දෙන්ම සැලවල් මහා සමුද්‍රය ඇතුලෙහි පෙරලි පෙරලි ඇවිදිනාහ. සිටානන්ගේ ගෙයි පන්සියයක් භික්ෂූන් වහන්සේට නිරන්තරයෙන් බත් තබා දෙන ලද්දේය. ඒ සිටානන්ගේ ගෙය පන්සියයක් භික්ෂූ සංඝයා වහන්සේට සතරමං සන්ධියක කරණ ලද පොකුණක් හා සමාන වන්නේය. සියලු භික්ෂූන් වහන්සේට මව්පිය තනතුරෙහි පිහිටියෝය. එසේ හෙයින් ඒ සිටානන්ගේ ගෙට බුදුරජානන් වහන්සේත් වඩනා සේක. අසූමව සව්වන් වහන්සේත් වඩනාසේක. සෙසු යන එන භික්ෂූන් වහන්සේගෙන් පමණෙක් නම් නැත්තේය. ඒ සිටානන්ගේ ගෙය සත්මහලක් ඇත්තේය. දොරටු සතකින් හෙබියේය. ඒ සිටානන්ගේ සතරවෙනි දොරටුවෙහි එක් මිත්‍යා දෘෂ්ටි දෙව්දුවක් වන්නීය. සර්වඥයන් වහන්සේ සිටානන්ගේ ගෙට වදනා කල්හිත් පිටතට වඩනා කල්හිත් තමාගේ විමන සිටින්නට අසමර්ථව දරුවන් වඩාගෙණ බැස බිම සිටිනීය. අසූමහ සව්වන් වහන්සේ හා අවශේෂ ස්ථවිරයන් වහන්සේ වදනා කල්හිත් විමනින් බැස බිම සිටිනීය. ඕතොමෝ මෙසේ සිතුවාය. ශ්‍රමණ භවත් ගෞතමයානන් වහන්සේත් ශ්‍රාවකයන් වහන්සේත් මේ ගෙට වදනා කල්හිත් නික්මෙන කල්හිත් මට සැපයක් නැත්තේය. හැමකල්ම බැස බිම සිටින්ට නොපිළිවන් වන්නේය. යම්සේ මොහු මේ ගෙට නොවදිත් නම් මා විසින් එපරිද්දෙන් කරන්ට වටනේයයි සිතා ඉක්බිත්තෙන් එක් දවසක් සිටානන්ගේ සියලු කාරියෙහි නියුක්ත පුරුෂයා වැදහොත් තැනට ගොස් ආලෝකයක් පතුරුවා සිටියාය. මේ තෙම කවුරුදැයි කී කල්හි මම සතවන දොරටුවේ අධිගෘහිත දේවතා දූ යයි කිවුය. කුමක් පිණිස අවුදැයි විචාළ කල්හි තොපගේ සිටානන්ගේ ක්‍රියාවක් නුදුටුද තමන්ගේ අන්තිම අවස්ථාව නොබලා වස්තුව පිටත් කොට ශ්‍රමණ භවත් ගෞතමයන්ම පුදති වෙළඳාමක් නොකරති. පොලියක් පිට නොලති. අවශේෂ වූ සීවප් ආදී කිසි කර්මාන්ත යකුත් නොකරවති. එසේ හෙයින් සිටානෝ තමන්ගේ කාර්යය යම්සේ කරවත් නම් ශ්‍රමණ භවත් ගෞතමයෝ යම්සේ ශ්‍රාවකයන් හා සමඟ මේ ගෙට නොවදිත් නම් එපරිද්දෙන්ම තොප සිටානන්ට අවවාද කරවයි. කිවුය. ඉක්බිත්තෙන් ඒ දේවතා දුවට සිටානන්ගේ කාරිය කරන්නා වූ පුරුෂයා කියන්නේ නුවනැත්තා වූ දිව්‍ය ස්ත්‍රීය සිටානන් වහන්සේ වස්තු වියදම් කරණ සේක් නෛර්යානික වූ සර්වඥ ශාසනයෙහි වියදම් කළසේක. ඉඳින් ඒ සිටානන් වහන්සේ මාගේ කෙස් වැටිය අල්වා ඇදගෙණ ගොස් විකුණන සේක් වී නම් මම ඊට උත්තරයක් නොකියමි. එසේ හෙයින් තෝ මෙතැන නොසිට පලායවයි භයගැන්විය. නැවත එක් දවසක් සිටානන්ගේ වැඩිමහලු පුතනුවන් සමීපයට ගොස් එසේම අවවාද කළාය. ඒ ප්‍රධාන පුත්‍රතෙමේත් පළමු පරිද්දෙන්ම භයගැන් වූයේය. සිටානන් හා සමග කථා කරන්ට අසමර්ථ වන්නීය. සිටානන්ට නිරන්තරයෙන් දන්දීමෙන් හා වෙළඳාම් නොකිරීමෙන් අය මඳ වූ කල්හි වස්තුව නිමා ගියේය. ඉක්බිත්තෙන් ඒ සිටානන් ක්‍රමයෙන් දිලිඳු බවට පැමිණි කල්හි අඳිනා පිළිත් භෝනා හිඳිනා දැත් භෝජනයත් පෙරසේ නොවන්නේය. මෙසේ දුක්පත් බවට පැමිණත් භික්ෂූ සංඝයා වහන්සේට දන්දෙති. මධුර කොට දන්දෙන්නට අසමර්ථයෝ ඉක්බිත්තෙන් එක් දවසක් නමස්කාර කොට උන්නා වූ සිටානන්ට සර්වඥයන් වහන්සේ වදාරණසේක් සිටාණෙනි. තව දක්වා තොපගේ ගෙයි දන්පවතී දැයි විචාළසේක. එබස් ඇසූ සිටානෝ කියන්නෝ ස්වාමීනි තව දක්වාත් දෙමින් සිටියෙමි දෙන පමණක් විනා සකස් කොට දිය නොහෙමි කාඩි දෙවනු කොට නිවුඩුසාලේ බත් දෙමින් සිටියෙමි කිවුය. එකල්හි සර්වඥයන් වහන්සේ වදාරණසේක් සිටානෙනි තෙපි රූක්‍ෂ වූ භෝජනය දෙමියි සිතා නාකුළුවවයි සිත ප්‍රසන්න කල්හි බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධ ආර්ය ශ්‍රවකයන්ට දුන්නා වූ දානය රුක්ෂ නම් නොවෙයි. කුමක් හෙයින්ද යත් විපාක මහත් බැවිනැයි වදාළසේක. සිත ප්‍රසන්න කරන්ට සමර්ථ තැනැත්තහුගේ දානය රූක්ෂ නම් නොවෙයි. ඒ මෙසේ දතයුත්තේය.

නත්ථි විතේත පසන්තමහි අප්පිකානාම දක්ඛිනො

තථාගතො වා සම්බුදධ අර්ථවා තස්ස සාවකේ

නකිරත්ථි අනෝමදස්සි සුපාරිචරියා බුද්ධේසූ අප්පිකා

සුක්ඛාය අලෝණකායච ඵස්සඵලං කුම්මාස පිණ්ඩියා.

තවද සිටානන්ට සර්වඥයන් වහන්සේ වදාරණසේක් සිටානෙනි. තොපි වූ කලී රූක්ෂ වූ දානය දෙන්නාහු අෂ්ටාර්ය පුද්ගලයන්ටම දෙව මම වේලාම නම් බ්‍රාහ්මණ කාලයෙහි සියලු දඹදිව නගුල් උඩ බඳවා සියලු යාචකයන්ට සත්රුවන් දෙන්නෙම් පඤච මහා ගංගාවෙහි ජලය එක් ගංගාවකට වැද මහ වතුරු මඩනා කලක් මෙන් මහදන් පවත්වන්නෙම් සරණගත වූ පන්සිල් රක්නා වූ කිසිවක්හූ නොලදිමි. දක්ඛිණෙය්ය පුද්ගලයෝ නම් මෙසේ දුර්ලභ වන්නාහුය. එසේ හෙයින් තෙපි කවර කාරණයකින් මාගේ දානය රූක්ෂය සකස් නොවෙයි කියා සිත අකුළු වව්දැයි වදාළ සේක. මෙසේ ම කියා නැවත වේලාම සුත්‍රය වදාළසේක. ඉක්බිත්තෙන් ඒ දෙවතා දූ ඉසුරුමත් කල ඒ සිටානන් හා සමග කථාකරන්ට අසමර්ථ වූ තැනැත්තී දැන් දුක්පත්ව ගිය බැවින් තමාගේ බස් ගන්නේ වේදැයි සිතමින් මධ්‍යම රාත්‍රී වේලෙහි ශ්‍රී යහන් ගබඩාවට වැද ආලෝක පතුරුවා ආකාශයෙහි සිටියාය. සිටානෝ දැක මේ කවරෙක්දැයි විචාළෝය. සිටානන් වහන්ස මම සතරවෙනි දොරටුවේ අධිගෘහිත දේවතා දූ යයි කිවුය. කුමක් පිණිස අවුදැයි විචාල කල්හි නුඹ වහන්සේට අවවාද කියනු කැමති යයි කිවුය. එසේ වී නම් කියවයි කී කල්හි මහ සිටානන් වහන්ස නුඹ වහන්සේ අන්තිම අවස්ථාවත් නොසිතන සේක. දූ දරුවන් බුහුනන් නො බලන සේක. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශාසනයෙහි බොහෝ සම්පත් විසුරුවන ලද නුඹ වහන්සේ බොහෝ කලක් වස්තු වියදම් කිරීමෙනුත් කෘෂිවර්ණක් ආදී වූ කර්මාන්තයන් නොකිරීමෙනුත්ත ශ්‍රමණ භවත් ගෞතමයන් නිසා දුක්පත්ව ගියසේක් එසේ වුවත් නුඹ වහන්සේ ශ්‍රමණ භවත් ගෞතමයන් හැර නොපියන සේක. අද දක්වාත් ශ්‍රමණයෝ නුඹ වහන්සේගේ ගෙට වදිත්මය. ඒ ශ්‍රමණයන් විසින් යම් වස්තුවෙක් පළමු ගෙණ යන ලද්දේ වී නම් ඒ වස්තුව නැවත පෙරලා ගෙන්වාගන්ට නොපිළිවන් වන්නේය. ගත් දෙයක් ගත්තේමය. මෙතැන් පටන් නුඹ වහන්සේත් ශ්‍රමණ භවත් ගෞතමයන් කරා නොගිය මැනව. ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් කරකැවී සිටිත් නොබලා නුඹ වහන්සේගේ ගෙයිතැනුත් වෙළඳමුත් කොට කුටුඹ සන්ඨාපනය කළ මැනවැයි කිවුය. එකල්හි සිටානෝ ඒ දෙව්දුවට කියන්නෝ මේ තොප මට දෙන්නාවු අවවාද දැයි කිවුය. එසේය, මේ මා දෙන අවවාදයයි කී කල්හි තොප බඳු වූ දෙව්දුන් සියයකිනුත් දහසකිනුත් ලක්ෂයකිනුත් සොළවාලිය නොහැකි කොට දශබලධාරී වූ බුදුරජානන් වහන්සේ විසින් නිශ්චය කරණ ලද්දේම් වීම් මාගේ ශ්‍රද්ධාව වනාහි මෙර මෙන් නිශ්චලව පිහිටියාය. මා විසින් නෛයිර්යානික වූ රත්න ශාසනයෙහි නිර්මල වූ ශාසනයෙහි වස්තුව වියදම් කරණ ලද එසේ හෙයින් තී විසින් නොකිය යුත්තක් කියන ලද සර්වඥය ශාසනයට ප්‍රහාරයෙන් නින්දාවක් දෙනලදු වූ මෙබඳු අනාචාර වූ දුස්සීල වූ කාලකන්නි වූ තී හා සමඟ මා එක ගෙයි වසන්ට සුදුසු නොවෙයි වහා මාගේ ගෙයින් නික්ම අනික් තැනකට යවයි කිවුය. ඒ දේවතා දූ සෝවාන් ඵලයෙහි පිහිටි ආර්යය ශ්‍රාවක වූ සිටානන්ගේ වචනය අසා එතන සිටින්නට අසමර්ථව තමා වසන තැනට ගොස් දරුවන් අත අල්වාගෙණ නික්ම අනික් තැනක වසන්ට අවසරයක් නොලැබ සිටානන් ක්‍ෂමා කරවා එහිම වෙසෙමියි නුවර රැකවල් ගත් දිව්‍යපුත්‍රයා සමීපයට ගොස් නමස්කාර කොට සිටායාය. කවර කාරණයකින් දැයි කී කල්හි ස්වාමීනි මම නොසලකා අනේපිඬු මහ සිටානන් හා සමඟ කථාවක් කෙළෙමි. ඒ සිටානෝ මට කිපී වසන තැනින් නෙරපූය. මා සිටානන් සමීපයට ගෙණගොස් ක්‍ෂමා කරවා වසනතැනක් මට දෙවයි කිව. තී විසින් සිටානන් හට කුමක් කරණ ලද දැයි විචාල කල්හි මෙතැන් පටන් බුද්ධෝපස්ථානය නොකරව ශ්‍රමණ භවත් ගෞතමයන් මේ ගෙට වැද්ද නොදෙවයි කීම් ්ස්වාමීනියි කිවුය. එබස් ඇසූ දිව්‍යපුත්‍රයා කියන්නේ තී විසින් නොකියයුත්තක් කියනලද ශාසනයට නින්දා කරණ ලද දෝශාරෝපනය කරණ ලද මම තී කැඳවාගෙණ සිටානන් සමීපයට යන්ට උත්සහ නොකරමියි කීය. ඒ දෙව්දුව ඔහු සමීපයෙන් සංග්‍රහයක් නොලැබ සතරවරන් රජදරුවන් සමීපයට ගියාය. ඔවුන් විසිනුත් එසේම ප්‍රතික්‍ෂේප කරණ ලද්දී ශක්‍රදේවේන්ද්‍රයන් සමීපයට ගොස් එපවත් කියා ස්වාමීනි. මම වසන තෙනක් නො ලැබ දරුවන් අත අල්වා ගෙණ පිහිටක් නොලැබ ඇවිදිම් නුඹ වහන්සේගේ ශ්‍රී සමෘද්ධියෙන් මා වසන තැනක් දුන මැනවයි තරකොට යාච්ඤා කළාය.

එබස් අසා ශක්‍ර දේවේන්ද්‍රයෝ කියන්නෝ තී විසින් අයුක්තියක් කියන ලද සර්වඥ ශාසනයට පහර දෙනලද මමත් තී නිසා සිටානන් හා සමග කථා කරන්ට අසමර්ථයෙමි. බල එකෙක් කියමි. සිටානන් වහන්සේ සමාකරවා ගන්ට එක් උපායක් කියමියි කිවුය. යහපත ස්වාමීනි. කිවමැනවයි කී කල්හි ශක්‍රදේවේන්ද්‍රයෝ කියන්නෝ දිව්‍යස්ත්‍රීය මේ මහා සිටානන් අතින් මනුෂ්‍යයෝ පත්ලා අටළොස් කෙළක් වස්තු නය ඇරගත්තුය. ඒ වස්තුව තෝ සිටානන් ගේ නියුක්ත පුරුෂයානන්ගේ වෙසය ගෙණ කිසි කෙණෙකුන් නොදන්වා ඒ පත් ඇරගෙණ තරුණ යක්ෂයන් කීපදෙනෙකුන් විසින් පිරිවරණ ලදුව එක් අතකින් පත් හා එක් අතකින් පන්හිඳක් ගෙණ ඒ නය වැද්දන් තැති ගන්වා මේ තොප ලු නයපත අපගේ සිටානන් හෙයින් තොප අතින් නය නො එල වූ සේක. දැන් දුක්පත්ව ගියසේක. එසේ හෙයින් තොප ගත් නය දෙවයි තොපගේ යක්‍ෂානුභාවයෙන් දක්වා ඒ අටළොස් කෙළක් වස්තු ඵලවා ගෙණ සිටානන්ගේ සිස්වු භාණ්ඩාගාරයේ පුරා අනිකුත් අවිරවතී නම් ගංතෙර නිධාන කළ වස්තුවකුත් ගඟ ඉවුර බිඳිගිය කල්හි සමුද්‍රයට වන්නා ඇත එයින් තොපගේ ආනුභාවයෙන් දක්වා ඒ ගෙණවුත් කොටුගුළු පුරා අනිකුත් අසවල් තැන අස්වාමික වූ අටළොස් කෙළක් වස්තු ඇත. ඒත් ගෙණවුත් සිස්වූ කොටගුළු පුරාලව. මේ සිව්පණස් කෙළක් පමණ වස්තුවෙන් සිස්වූ කොටුගුළු පුරාලීම තොපට දඬුවම මෙසේ දඬුවම් කොට මහා සිටානන් ක්‍ෂමා කරවාගෙණැයි ශක්‍රදේවේන්ද්‍රයෝ කිවුය. එබස් ඇසූ දේවතා දූ යහපතැයි ස්වාමීනි කියා ශක්‍ර දේවේන්ද්‍රයාන්ගේ වචනය පිළිගෙණ කියන ලද ක්‍රමයෙන්ම සියලු වස්තුව ගෙණවුත් කොටු ගෙවල් පුරාලා මධ්‍යම රාත්‍රි වේලෙහි සිටානන්ගේ ශ්‍රී යහන් ගබඩාවට වැද ආලෝකය පතුරුවා ආකාශයෙහි සිටියාය. තොප කවරෙක් දැයි කී කල්හි ස්වාමීනි මහසිටානන් වහන්ස, මම නුඹ වහ්නසේගේ සතරවෙනි දොරටුවේ වසන්නා වූ අඥාන වු දිව්‍යස්ත්‍රීය මෝහයෙන් මුඪවූ මා විසින් බුදුන්ගේ ගුණ නොදැන පළමු දවසෙක නුඹවහන්සේ හා සමග කළ කථාවෙක් ඇත. ඒ දෝශයට මට ක්‍ෂමා කොට වදාළ මැනව. තවද ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේගේ වචනයෙන් නුඹවහන්සේගේම නය ඵලවා අටළොස් කෙළක් වස්තුත් සමුද්‍රයට වන් අටලොස් කෙළක් වත්තූත් ඒ ඒ තැන අස්වාමික වූ අටලොස් කෙළක් වස්තූත් එක්කොට සූපණස් කෙළක් පමණ වස්තූන් ගෙණ වුත් නුඹවහන්සේගේ සිස්වූ කොටගුළු පිරීමෙන් දඬුවම් කරණ ලද ජේතවනා මහා විහාරය නිසා වියදම් කළ සියලු වස්තුව මා විසින් එක්කොට තබන ලද වසනතැනක් නොලැබ දුක් විඳ ඇවිදිම් මා නුවන නැතිව කළ දෙය සිත නොතබා සිටානන් වහන්ස මට ක්‍ෂමාකොට වදාළ මැනවයි කිවුය. එකල්හි අනේපිඬු මහසිටානෝ ඇගේ වචනය අසා මෙසේ සිතූය.මේ දෙව්දු දඬුවම් කෙළෙමි කියාත් කියයි තමාගේ දෝෂයත් ගිවිස සිටිනීය. සර්වඥයන් වහන්සේ මෑ විනයනය කොට තමන් වහන්සේගේ ගුණ දක්වන සේක. එසේ හෙයින් බුදුරජානන් වහන්සේට තමන් වහන්සේගේ ගුණ දක්වන සේක. එසේ හෙයින් බුදුරජානන් වහන්සේට දක්වමි සිතා ඒ දිව්‍යස්ත්‍රීයට මෙසේ කිවුය. එසේ හෙයින් බුදුරජානන් වහන්සේට දක්වමි සිතා ඒ දිව්‍යස්ත්‍රීයට මෙසේ කිවුය. දේවතාදුව ඉදින් මා ක්‍ෂමා කරනවනු කැමැත්තෙයි වී නම් සර්වඥයන් වහන්සේ සමීපයෙහිදී මා ක්‍ෂමා කරවයි කිවුය. එබස් ඇසූ දෙව්දු කියන්නී යහපත එසේ කෙරෙමියි සර්වඥයන් වහන්සේ සමීපයෙහිදී මා කැඳවා ගෙණ ගොස් ක්‍ෂමා කළ මැනවැයි කිවුය. සිටානෝ යහපතැයි කියා පාන්ව ගිය ක්ලහි උදෑසනම ඒ දිව්‍යස්ත්‍රී කැඳවා ගෙණ සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් ඈ කළ කාරිය සියල්ලම සර්වඥයන් වහන්සේට දැන්වුය. බුදුරජානන් වහන්සේ එබස් අසා සිටානෙනි මේ ලෝකයෙහි පාපීවූ පුද්ගලයාත් යම්තාක් පාපය විපාක නොදේ නම් ඒ තාක් කල් යහපතක් දක්නේය. යහ් කළෙක් ඕහට අකුශල කර්මය විපාකදේ නම් එකල අකුශල කර්මයාගේ විපාකයම දක්නේය. කුසල් කළා වූ සත්වයාත් යම්තාක් කුශල කර්මය විපාක නොදේ නම් ඒ තාක් අකුශල කර්ම දක්නේය. යම් කාලෙක ඕහට කුශල කර්මය විපාකදේ නම් ඒ කුශලකර්ම විපාකයම දක්නේයයි කියා මේ දම්පියායෙහි ගාථා දෙකක් වදාළසේක.

පාපොපී පස්සතී භද්‍රං යාචපාපංනා පච්චති

යදාච පච්චතී පාපං අථපාපො පාපතී පස්සතී

භද්‍රොපී පස්සතී පාපං යාචභද්‍රං න පච්චතී

යදාච පච්චති භද්‍රං අථභද්‍රෙං භද්‍රංනි පස්සතී.

යන මේ ගාථාවෙන් දෙදෙනා වදාළහ. ඉක්බිති ඒ දිව්‍යස්ත්‍රී සෝවාන් ඵලයෙහි පිහිටා සර්වඥයන් වහන්සේගේ චක්‍ර ලක්ෂණයෙන් විහ්නිත වූ ශ්‍රී පාදයෙහි වැටි ස්වාමීනි රාගයෙන් රත්ව වේෂයෙන් දුෂ්ට වූ මෝහයෙන් මුඪ වූ අවිiාවන් අන්ධ වූ නුඹ වහන්සේගේ ගුණ නොදන්නා වූ මා විසින් නොකිය යුත්තක් කියනලද ඊට මට ක්‍ෂමා කරවුය. එකල්හි අනේපිඬු මහ සිටානෝ සර්වඥයන් වහන්සේ ඉදිරියෙහි සිට තමන්ගේ ගුණ කියන්නෝ ස්වාමීනි දේවතාදූ බුද්ධෝපස්ථානයේදී නොකරවයි වලකන්නාවූ තැනැත්තී මා කලකාගත නුහුණුවාහුය. දැන් නො දෙව යි මා වලකමින් සිටිය දීත් මම දන්නිම්ය ස්වාමීනි මේ මාගේ විශේෂගුණ නොවේදැයි දැන්වූ කල්හි එබස් ඇසූ සර්වඥයන් වහන්සේ සිටානන්ට වදාරණ සේක් සිටානෙනි තොප වූ කලී ශ්‍රොතාපන්න වූ ආර්යශ්‍රාවකව අචලශ්‍රද්ධාවෙහි පිහිටියාව නිර්මල වූ සම්‍යක් දෘෂ්ටි ඇත්තා වූ එසේ හෙයින් තොප මේ අල්පේශාක්‍යවූ දිව්‍යස්ත්‍රියවලකමින් සිටියදී නොවැලකී බස ආශ්චර්යය නො වන්නේය. පෙර නුවනැත්තෝ අබුධොත්පාදකලයෙහි නුවන ලැබූ අවස්ථාවෙහි කාමාවචර ඓශ්චර්යයට අධිපති වූ වසවර්තී මාරයා විසින් ආකාශයෙහි සිට ඉඳන් තෙපි දන්දෙවුනම් මේ නරකායෙහි පැසෙනවාදැයි අසූරියනක් පමණ ගැඹුර ඇති කිහිරඟුවලක් දක්වා දන් නොදෙවයි වලකනලද්දාහු පොළව පලාගෙණ පැන නැගී පියුම්කෙමිය මත්තෙහි සිට දන්දුන්නාහුය. මේ ආශ්චර්යයයි වදාරා අනේපිඬු මහසිටානන් විසින් ආරාධිත වූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණ ලද බෝධිසම්භාර ඇති අප මහබෝසතානෝ බරණැස් නුවර සිටුකුලයක ඉපිද අනේකප්‍රකාර වූ සැපයෙන් දිව්‍යකුමාරයකුමෙන් වැඩෙමින් ක්‍රමයෙන් විඥ බවට පැමිණ සොළොස් ඇවිරිදි කලම සියලු සිල්පයෙහි කෙළවර පැමිණියෝය, ඒ කුමාරයෝ පියානන්ගේ ඇවෑමෙන් සිටු තනතුර ලැබ නුවර සතරවාසල් දොර දන්හල් සතරෙක නුවරමැද එකෙක තමාගේ ගෙදොර එකෙකැයි සදන්හල් කරවා මහදන් දෙති. පන්සිල් රකිති. පෙහෙවස් වෙසෙති ඉක්බිත්තෙන් එක් දවසක් පෙරවරු වේලෙහි බෝධිසත්වයන්ට නොයෙක් අග්‍ර රසයෙන් යුක්තවු භොජනය ඵලවූ කල්හි එක් පසේබුදු කෙණෙකුන් වහන්සේ සතියක් ඇවෑමෙන් නිරෝධසමාපත්තියෙන් නැගී පිඬු සිඟන වේලාව සලකා අද මා විසින් බරණැස්නුවර සිටානන්ගේ ගෙදෙරට යන්ට වටනේයයි සිතා නාලිය දැවටුවළඳා අනවත්පත විලින් මුව සෝදා රත්ගල්තලා මුදුනෙහි සිට අඳනය ඇඳ ඊමත්තෙහි පටිය බැඳ සඟල සිවුරෙන් ගැටවටු ගන්වා ඉර්ඩියෙන් උපන්නාවූ මැටිපාත්‍රයක් ගෙණ ආකාශයෙන් ගොස් බෝධිසත්වයන් අනුභව කරන්නට තලියේ බත් ළූ ඇසිල්ලහිම ගෙදෙර වැඩිසිටිසේක. බෝධිසත්වයෝ ඒ පසේබුදුන් වහන්සේ දැකලාම අස්නෙන් නැගී සිට ආදර දක්වා අතවැස්සා මුනබැලූය. ඔහු විසින් කුමක් කෙරෙම්ද ස්වාමීනි කී කල්හි පසේබුදුන් වහන්සේගේ පාත්‍රය ගෙණවුයි කිවුය. එකෙකෙහිම පාපී වූ වසවර්තීමාරයා කම්පිත වෙමින් නැගීසිට මේ පසේ බුදුන් වහන්සේ අදට සත්වෙනිදවස් බත් නොලත් සේක. එසේ හෙයින් අද බත් නොලත් සේක් වීනම් නස්නා සේක, උන්වහන්සේ නසම්, සිටානන්ගේ දානයටත් අන්තාරායක් කෙරෙමියි සිතා එකෙනෙහිම අවුත් මිදුල් මධ්‍යයෙහි අසූරියනක් පමණ අඟුරුවලක් මැවීය. ඒ අඟුරුවල කිහිරඟුවෙන් පිරුනේය. හාත්පසින් දිළි හෙන්නාවූ ගිණිදැල්හි ඇත්තේය. එකජටාවල ඇවිලෙන්නේය, අවීචීමහා නරකයමෙන් බලන්නාවූ සත්වයන්ට වැටහෙන්නේය ඒ කිහිරඟුරු වල මවා තෙමේ ආකාශයෙහි සිටයේය. පාත්‍රය ගන්නට ගියාවූ පුරුෂයා ඒ කිහිරඟුරු වල දැක මහත් වූ භයින් භවපත්ව වැලැක්කේය.

මහබෝසතානෝ ඔහු දැක දරුව තෝ කුමක් නිසා වැලැක්කෙහිදැයි විචාලේය. ඒ පුරුෂයා කියන්නේ ස්වාමීනි මේ මිදුල මධ්‍යයේ මහත්වූ අඟුරු වලෙක් ගිණිගෙණ දිලියෙන්නේය. ඒක ජවාලාව ඇවිලෙන්නේයයි කිහ. තවද අනිකෙක් අනිකෙකැයි එනු එන්නෝ සියල්ලෝම භයින් ත්‍රස්තව වේගයෙන් පලාගියාහ. එකල බෝධිසත්වයෝ මෙසේ සිතූහ. අද මාගේ දානයට අන්තරායක් කරණු කැමතිව වසවර්ති මාරයා ඉපිළ නැංගේ වන. ඒ මාරයා තමාසේම වූ මාරයන් සියයකිනුත් මාරයන් දහසකිනුත් මා සොලවාලිය නොහැකිබව නොදත්වන. අද දැන් මාරයාගේවත් මාගේවත් බල මහත්බව හා ආනාභාව මහත්බව දනිමියි සිතා සැරසූ සැටියේම බත්තලිය තුමුම ඇරගෙණ ගෙන්නික්ම අඟුරුවල මුවවිට සිට ආකාශය බලා මාරයා දැක තෝ කවරෙක්හිදැයි විචාළේය. මම වසවර්තිමාරයායයි කී කල්හි මේ අඟුරු වල තා විසින් මවනලද්දේදැයි කිවුය. එසේය ම විසිනැයි කී කල්හි කුමක් පිණිස දැයි විචාරා තොපගේ දානයට අන්තරාය කරණු පිණිසත් පසේබුදුන් වහන්සේගේ ජීවිතාන්තරාය කරණු පිණිසත් කෙළෙමි කීය. ඒ අසා බෝධිසත්වයෝ කියන්නාහු මාරය. තා විසින් මාගේ අන්තරාවක්වත් පසේබුදුන් වහන්සේගේ ජිවිතයට අන්තරාවක් වත් මම කොටලිය නොදෙමි අදදැන්මාගේවත් තාගේවත් බල මහත්නියාව දකිමි කියා මහබෝසතානෝ දෘඪසමාදානයෙන් බත්තලියගෙණ අඟුරුවල මත්තට පැන පූය. එකෙණෙහිම අසූරියනක් පමණ ගැඹුරු ඇති අඟුරුවල පත්ලෙහි ඊ ඊ පිට අටගත්තාවූ සත්බුමු මහපියුමෙක් උඩනැගී බෝධිසත්වයන්ගේ දෙපයල පිළිගත්තේය. ඒ පියුමෙන් තිඹක් පමණ රේණු ආකාශයට කරකැවී කැවී නැගී මහබෝසතානන් වහන්සේගේ ඉස්මුදුනෙහි පටන් සකළ ශරීරය රන්සුනෙන් නැවරූවාක් මෙන් කෙළේය. එකෙණෙහි මහබෝසතානෝ පියුම් කෙමිය මත්තෙහි සිට නොයෙක් අග්‍රරසයෙන් යුක්ත වූ භෝජනය පසේ බුදුන්වහන්සේගේ පාත්‍රයට පිළිගැන්වුවාය. පසේ බුදුන් වහන්සේ ආහාරය පිළිගෙණ අනුමෙවැනි ධර්මදේශනා කොට පාත්‍රය ආකාශයට හැර මහ ජනයා බලබලා සිටියදීම ආකාශයට පැනනැගී පස්වනක් වලා මඩිමින් හිමාලය වනයට වැඩිසේක. වසවර්තීමාරයාත් පැරදා දොම්නසට පැමිණ තමන් වහන්නාවූ ස්ථානයටම ගියේය. බෝධිසත්වයෝ පියුම්කෙමිය මත්තහි සිට මහජනයාට දන්දීම හා සිල්රක්ෂා කිරීමෙහි ගුණවර්ණනා කිරීමෙන් ධර්මදේශනා කොට මහජනයා විසින් පිරිවරුණලදුව තමන්ගේ ගෙටම වැද දිවිපමණින් දානාදී වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියේය. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ සිටාණෙනි යම් බුඳූහු තෙපි ප්‍රථම මාර්ග ලැබ දෙව්දුව විසින් දැන් ්සොලවාලන්ට අසමර්ථවූවාහුය යන යමෙක් ඇත්නම් ඒ තෙමේ ආශ්චර්යය නොවන්නේය. පෙර නුවනැතන් විසින් කළ දෙයම ආශ්චර්යය වන්නේයයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා මේ ඛදිරංගාර ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි පසේ බුදු වූ එහිම පරිනිර්වාණය කළෝය. වසවර්ති මාරයා පරදවා පියුම්කෙමිය මත්තහි සිට පසේ බුදුන්ට බත්තලිය පිළිගැන්වූ බරණැස්නුවර නිටානෝ නම් සම්‍යක් සම්බුදු රජවූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.