මුල් පිටුව ත්‍යාගශිලී බව 37 තිත්තිර ජාතකය

37 තිත්තිර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙක්හි සසර කතරින් එතර කරණ හෙයින් ගැල්සාත්තු වාහකයක්හූ වැනි වූ සර්වඥයන් වහන්සේ සැවැත්නුවරට වඩනා සේක් සැරියුත් මහතෙරුන් වහන්සේට සෙනසුන් වැළැකීමක් අරභයා මේ ජතකය වදාළ සේක.

අනේපිඬු මහසිටානන් විසින් විහාරය කරවා දූතයන් යැවූ කල්හි ශාස්තෘන් වහන්සේ රජගහනුවරින් නික්ම විශාලාමහනුවරට පැමිණ එහි කැමති පරිද්දෙන් වාසය කොට සැවැත් නුවරට එමි කියා මගට පිළිපන්සේක. එසමයෙහි වනාහි ෂඩ්වර්ගික භික්ෂූන්ගේ අතවැසි භික්ෂූන් අභිමුඛව ගොස් ස්ථවිරයන් වහන්සේලාට සෙනසුන් නොගත් කල්හිම මේ සෙනස්න අපගේ උපාධ්‍යයන් වහන්සේටය මේ සෙනස්න ආචාරීන් වහන්සේටය මේ සෙනස්න අපටම වන්නේ යයි කියා සෙනසුන් වලකාත්, පසුව ආවාවූ ස්ථවිරයන් වහ්නේසලා සෙනසුන් නො ලබන්නාහුය. සැරියුත් මහතෙරුන් වහන්සේගේ ද අතවැසි භික්ෂූහු ස්ථවිරයන් වහන්සේට සෙනස්න සොයන්නාහු නොලද්දාහුය. සැරියුත් මහතෙරුන් වහන්සේ සෙනස්නක් නොලැබමින් සර්වඥයන් වහන්සේගේ සෙනස්නට නුදුරු තැනැක්හි එක් වෘක්ෂ මූලයෙක්හි හිඳිමෙන්ද සක්මන් කිරීමෙන්ද කල්යවුසේක. සර්වඥයන් වහන්සේ අළුයම් වෙලෙහි පිටතට නික්ම කැසපිසේක. තෙරුන්ව වහන්සේ ද කැසපි සේක, මේ තෙමේ කවරෙක්ද ස්වාමීන් වහන්ස මම ශාරිපුත්‍රයෙමි කී සේක.ශාරීපුත්‍රස්ථවිරය මේ වෙලාවෙහි මෙතැන්දි කවරක් කරන්නෙහිදැයි වදාළ සේක. සැරියුත් මහතෙරුන් වහන්සේ මේ ප්‍රවෘත්තිය දැන්වූ සේක. ශාස්තෘන් වහන්සේ ස්ථවිරයන් වහන්සේගේ බස් අසා දැන් වනාහි මා ජිවත් ව ඉන්දදී භික්ෂුහු ඔවුනොවුන් ගෞරව නැත්තෝය. ආදර නැත්තෝය. පිරිනිවන් පෑ කල්හි කවරක් කරන්නාහුදෝයි ආවර්ජනා කරන්නාහට ධර්මසංවේගය පහළ වූයේය. සර්වඥයන් වහන්සේ රාත්‍රිය පහන් වූ කල්හි භික්ෂූ සංඝයා රැස් කරවා භික්ෂූන්ට වදාරණසේක් මහණෙනි. ශඩ්වර්ගික භික්ෂූ පෙරටු පෙරටුව ගොස් ස්ථවිර භික්ෂූන් වහන්සේලාට සෙනසුන් වැලකුවෝ සැබෑදයි විචාරා වදාළ සේක. භාග්‍යවතුන් වහන්ස සැබෑවයි කිවාහුය. ඉක්බිත්තෙන් ෂඩ්වර්ගික භික්ෂූන්ට ගර්භාකොට ධර්ම කථාව වදාරා භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මහණෙනි. අග්‍ර ආසන අග්‍ර උදෙක අග්‍ර පිඩු කවරක්හට ලබන්ට සුදුසුදැයි විචාරා වදාළසේක. සමහර භික්ෂූහු ක්‍ෂත්‍රිය කුලයෙන් පැවිදි වූයේය. සමහර කෙණෙක් බ්‍රහ්මණ කුලයෙන් මහණවූයේය, ග්‍රහපති කුලයෙන් මහණ වූ යේය. ඔවුන්ට සුදුසුයයි කීවාහුය. සමහර කෙණෙක් විනයධර භික්ෂූහුය. ධර්මකථික භික්ෂූහුය ප්‍රථමංධ්‍යානලාභීය, චිතියංධ්‍යානලාභීය, තෘතියධ්‍යානලාභීය, චතුර්තං ධ්‍යානලාභීය. කිවාහුය. සමහර කෙණෙක් සෝවාන්ය. සකෘදාගාමීය.අනාගාමිය, අර්හත්ය, ත්‍රිවිiාවට පැමිණියාහ ෂඩ්අභිඥාවට පැමිණියාහුයයි කීවාහුය. මෙසේ ඒ භික්ෂූන් විසින් තමන්ගේ අභිප්‍රාය වශයෙන් අග්‍ර ආසනාදියට සුදුසු භික්ෂූන් කී කල්හි සර්වඥයන් වහන්සේ වදාරණසේක් මහණෙනි. මාගේ සාසනයෙහි අග්‍ර ආසනාදියට පැමිණ ක්‍ෂත්‍රිය කුලයෙන් පැවිදිවුයේ පමණ නොවෙයි බ්‍රාහ්මණ කුලයෙන් පැවිදිවුයේ පමණ නොවෙයි ගෘහපති කුලයෙන් පැවිදි වූයේ පමණ නොවෙයි විනයධර තැනැත්තේ ද පමණ නොවෙයි සුත්‍රාන්තික තැනැත්තේද පමණ නොවෙයි අභිධර්ම දන්නා තැනැත්තේද පමණ නොවෙන්නේය. ප්‍රථමධ්‍යානාදී වූ ධ්‍යානලාභීහුද පමණ නොවන්නේය. ශ්‍රෝතාපත්‍යදී වූ මාර්ගඵල ලාභීහුද පමණ නොවන්නේය. වැලිදු වනාහි මහණෙනි මේ ශාසනයෙහි පටි පාටිය වූ පරිද්දෙන්ම වැඳිම ද හුනස්නෙන් නැගීමද අඤජලිකම්ද, ආදර කියාද, කටයුත්තේය. අග්‍ර ආසනය අග්‍ර උදකය අග්‍ර පිණ්ඩිත ලැබ්බ යුත්තේය. මෙහි මේ ප්‍රමාණය ඒ කාරණයෙන් වැඩිමහලු භික්ෂූන් වහන්සේ මෙකී දෙය ලැබීමට සුදුසුය දැනුදු වනාහී මහණෙනි ශාරිපුත්‍රස්ථවිර තෙම මාගේ අග්‍රශ්‍රාවකය මා අනුව ධර්මචක්‍රයට පවත්නේය මට අනතුරුව සෙනස්න ලබන්නට සුදුසුය. ඒ ශාරිපුත්‍රස්ථවිර තෙම මේ රාත්‍රියෙහි සෙනස්නක් නොලබනසේක් වෘක්‍ෂ මූලයෙක්හි කල්යවු සේක. තෙපි දැන්ම මෙසේ ගෞරව නැතිව ආදර නැතිවුවාහුය. කල් යත්යත් කවරක් කොට වසන්නාහුදැයි කියා ඉක්බිත්තෙන් ඒ භික්ෂූන්ට අවවාද දෙනු පිණිස මහණෙනි පෙර තිරශ්චිනගතයෝද මෙසේ විසීම අපට සුදුසු නොවන්නේය. අපි ඔහුන් ගරු නොකොට ආදර නොකොට අසහායවෘත්තීව වාසය කරම්හ. අප අතුරෙන් මහලු යමක්හු දැනගෙණ ඕහට අභිවාදනාදිය කරම්හයි කියා යහපත් සේ පරීක්ෂා කොට මේ තෙම අපට මහළුයයි දැන ඕහට අභිවාදනාදීය කොට දිව්‍යලොක මාර්ගය පුරමින් ගියාහුයයි වදාරා ඉකුත්වත් කථාව වදාළ සේක.

යටගිය දවස හිමාලවනයාගේ පාර්ෂවයෙක්හි එක් මහා න්‍යග්‍රේධ වක්‍ෂයක් ආශ්‍රය කොට තිත්තිරය, වානරය, හස්තියයි කියා යහළුවෝ තුන් දෙනෙක් වාසය කළාහුය. ඔහුන් තුන්දෙන ඔවුනොවුන් ගරු නොකොට ආදර නොකොට සහභාගීවෘත්තියෙන් යුක්තවූවාහුය. ඉක්බිත්තෙන් ඔවුන්ට මෙබඳු වූ සිතෙක් වූයේය. කෙබඳු සිතෙක්ද, අපට මෙසේ වාසය කරන්නට නුසුදුසුය. අපි අපගෙන් යමෙක් මහළුද ඕහට වන්දනාමානාදී කෙරෙමින් වාසයකළමෝ නම් ඉතා යෙහැකැයි සිතුවාහුය. අපගෙන් කවරෙක් වෘද්ධතරදැයි සිතා එක්දවසක් මෙයට උපායෙක් ඇතැයි සිතා තිත්තිරය වානරය හස්තිය යන තුන් දෙනාම නුගරුකක් මුල්හි හිඳ තිත්තරය වානරය යන දෙදෙනා හස්තියා සමීපයෙන් විචාළාහුය. යහළු හස්තිය තෙපි මේ නුගරුක කවරක් ප්‍රමාණ කල් තැන්පටන් දන්නෙහි දැයි විචාළාහ. හස්තිතෙම කියනුයේ සබඳිනි. මම ලා පැල කල්හී මේ නුගගස බඩයට කොට ගියෙමි. යට කොට සිටි කල්හි වනාහි මේ වෘක්‍ෂයාගේ මුදුන් ශාකාව මාගේ නාභිය ගැයෙන්නේය. මෙසේ මම මේ වෘක්‍ෂය පැලකල් පටන් දන්නෙමි කීය. නැවතත් තිත්තිරය හස්තිය යන දෙදෙනා පූර්වයෙහි කියනලද ක්‍රමයෙන්ම වානරයාගෙන් විචාළාහුය. වානරතෙම කියනුයේ හයළුවෙනි මම වානරපැටවා වුයෙන් බිමහිඳ ශ්‍රීවය නොඔසවාම මේ නුගපැලැටියගේ අක්දළු කෑයෙමි. මෙසේ මම මේ නුගවෘක්‍ෂය කුඩාකල් තැන් පටන් දන්නෙමි කීයේය. ඉක්බිත්තෙන් වානරයාය හස්තියාය යන දෙදෙනා පූර්වයෙහි කියනලද ක්‍රමයෙන්ම තිත්තිර පණ්ඩිතයෙන්ගෙන් විචාළාහුය. තිත්තිර පණ්ඩිතයෝද කී සේක. යහළුවෙනි පූර්වයෙහි අසවල්නම් තැන මහත් නුග වෘක්ෂයෙක් වූයේය. මම ඒ වෘක්‍ෂයාගේ ඵලයක් අනුභවකොට මෙතැන්හි වර්චස් එලුයෙහි. එයින් මේ වෘක්‍ෂය හටගත්තේය. මෙසේ මම මේ වෘක්‍ෂය හටගත් කල් තැන් පටන් දන්නෙමි එසේ හෙයින් මම තොපට වැඩියෙන් ජාතියෙන් වෘද්ධතරයෙමි කීසේක. මෙසේ කී කල්හි වානරයාද හස්තියාද තිත්තිර පණ්ඩිතයන්ට කියන්නාහු නුඹ වහන්සේ අපට වැඩියෙන් වෘද්ධතරය අද මෙතැන් පටන් අපි නුඹ වහන්සේට සත්කාර ගරුකාර වන්දනාමානාදී වූ පූජාවෙන්ද වැඳිමය හුනස්සෙන් නැගීමය අඤජලීකර්ම සාමිචිකර්මයන්ද කරම්හ. නුඹ වහන්සේගේ අවවාදයෙහි ද සිටම්හ. නුඹ වහන්සේ වනාහි මෙතැන් පටන් අපට අවවාද අනුශාසනා දෙවයි කිවුය. එතැන් පටන් තිත්තිර පණ්ඩිතයන් වහන්සේ ඔහුන්ට අවවාද දුන්සේක. ශිලයෙහි පිහිටවූසේක. තෙමෙත් පඤශීලය සමාදන්ව රක්ෂා කළසේක. ඔහු තුන්දෙනම පඤශීලයෙහි පිහිටුවා ඔහුනොවුන් ගෞරව ඇති ව සදෘශ වූ ප්‍රවෘත්ති ඇතිව ජීවිතයාගේ කෙළවර දිව්‍යලෝකයෙහි උපන්නාහුය. ඔහුන් තුන්දෙනාගේ සිල්සමාදන්වීම තිත්තර බ්‍රහ්මාචාර්යය නම් වූ යේය. මහණෙනි තිරශ්චිනගත වූ ඔහු වනාහි ඔහුනොවුන් ගෞරව සහිතව සත්කාර සහිතව වාසය කළාහුය. තෙපි මෙසේ යහපත් කොට දෙසනලද ධර්මය ඇති මාගේ ශාසනයෙහි පැවිදිව කවරහෙයකින් ඔවුනොවුන් ගෞරව නැතිව ආදර නැතිව වාසයකරන්නාහුද? මහණෙනි මෙතැන් පටන් සඟ මහළු පිළිවෙළින් වැඳිමය හුනස්නෙන් නැගීමය අඤජලීකර්මය සාමිචිකර්මය මහණ වූ පිළිවෙලින් අග්‍ර ආසනය අග්‍ර උදකය අග්‍ර පිණ්ඩය යන මේ සියල්ල මෙතැන් පටන් තොපට අනුදනිමි. අභිනව මහණවූවාහු විසින් වෘද්ධතරයාහට නොවැලක්විය යුත්තේය. යමෙක් වැලැක් වූයේ වී නම් දුක්කටප්තති යයි වදාරා මෙසේ සර්වඥයන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා මෙසේ වදාළ සේක. වෘද්ධපචායන ධර්මයෙහි දක්ෂ වූ යමෙක් කුලවෘද්ධ, ගුණවෘද්ධ, වයොවෘද්ධ, තුන්දෙනා කෙරෙන් ගුණවෘද්ධ වයොවෘද්ධ යන දෙදෙනාහට පූජා කෙරේද ඔහු ඉහතාත්මභාවයෙහි ප්‍රශංසාහී වෙති. මෙලොව හැර යායුතු පරලොවෙයි සුගතියට යන්නාහු වෙති මහණෙනි. ක්‍ෂත්‍රීයයෝ වෙත්වයි බ්‍රාහ්මණයෝ වෙත්වයි වෛශ්‍යයෝ වෙත්වයි ක්‍ෂූද්‍රයෝ වෙත්වයි ගෘහස්තයෝ වෙත්වයි ප්‍රව්‍රජිතයෝ වෙත්වයි තිරශ්චිනගතයෝ වෙත්වයි යම් කිසි සත්ව කෙනෙක් ජ්‍යෙෂ්ඨපචායන කර්මයෙහි දක්ෂ වූවාහු ගුණයෙන් යුක්තවූ වයෝවෘද්ධයන්ට ආදර කෙරෙත්ද. ඔහු මේ ආත්ම භාවයෙහිද ජ්‍යෙෂ්ඨපවායන ක්‍රියාව කළාහු යයි ප්‍රශංසා ලබන්නාහුය. කරජකායයාගේ හෙදයෙන් සවර්ගීලෝකයෙහි උපදනා වූ යයි වදාළ සේක. මෙසේ ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ ජ්‍යෙෂ්ඨාපචායන කර්මයාගේ ගුණ වදාරා පූර්වාපර සන්ධි ගලපා මේ තිත්තිර ජාතකය නිමවා වදාල සේක. එසමයෙහි හස්තියා නම් දැන් මහාමෞද්ගල්‍යායන ස්ථවිර වූ සේක. වඳුරා නම් ශාරිපත්‍ර ස්ථිවිර වූ සේක. තිත්කර පණ්ඩිතව උපන්නෙමි වනාහි තිලෝගුැ සම්‍යක් සම්බුදුරජ වූ මම ම වේදැයි තමන්ගේ දක්වා ෙවදාළ සේක.