434 නි‍ග්‍රොධ ජාතකය

මුද්‍රණය

තවද සියළු සත්වයන්ට අභිවෘද්ධිදායක වූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ කථාවක් අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ කෙසේද යත්.

එක් දවසක් භික්ෂූන් වහන්සේ දේවදත්ත ස්ථවිරයන් වහන්සේට කියන සේක් දේවදත්ත ස්ථවිරය සර්වඥයන් වහන්සේ තොපට බොහෝ උපකාරව උපසම්පදාවත් උන්වහන්සේගෙන් ලැබි ප්‍රථමධ්‍යාණයත් ලදුව එසේ බොහෝ උපකාර කළාවූ සර්වඥයන් වහන්සේට තොප අනුපකාරීවන්ඩ කාරණා කිමදැයි වදාළසේක. එවිට දේවදත්ත ස්ථවිරයෝ වදාරණ සේක් සර්ඥයන් වහන්සේ තනපතක් අග වැදගත් තෙල් බින්දුවක් විවරත් උපකාර මට කෙළේ නැතැයි කීසේක. එවිට භික්ෂූන් වහන්සේ මේ දේවදත්ත ස්ථවිරයන් නපුර කියා බුදුන් තමන්ට තෙල් බින්දුවක් විවරත් උපකාරයක් නොකළැයි කියති නුගුණ කියා වැඩ උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පුර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතුනොවෙයි පෙරත් දේවදත්ත ස්ථවිරයන් කළ උපකාර මකා කළ ගුණ නොදත්තෝවේදැයි වදාරා හේ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්

යටගිය දවස රජගහනුවර මගධනම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි ඒ නුවර එක් සිටාන කෙණෙක් ඇත්තාහ. ඒ සිටානන්ගේ පුත්වූ සිටු කුමාරයෙක් ඇත්තේය. ඒ සිටු කුමාරයාට එක් සමාන කුලයකින් සිටුදුවක ගෙණවුත් සරණපාවා දුන්හ. ඒ සිටු කුමාරයාගේ ගෙයි වසන්නාවූ ඒ සිටුදුවට දරුකෙණෙක් නැත්තාහ. ඒ සිටු පුත්‍රයාගේ දෙමව්පියෝ කියන්නාහු මේ වඳ තැනැත්තිය අපගේ ගෙයි ඉඳ කාරිය කිම්දැයි කියා ඉඳිනාහ. ඒ සිටු කුමාරිකා තමාගේ කිරී මැණියන් කැඳවා විචාරන්නී අම්ම දරුවන් ඇතිවූ ගැණුන්ට කවර ක්‍රියාවක්දැයි විචාරා ඒ ක්‍රියාව උන් අතින් අසා දැරි ඇත්තෙමි අඟවා ඔසප් සඟවා බඩපිළි තබා බැඳ තලා අතපය උදුම්මා දොළදුකැයි ඇඹුල්කා ප්‍රයෝගයකින් තනපුඩු කළුකොට ගෙණ ඉඳ නවමස් පිරී දසමසට පැමිණ කල්හි වදනකල්විය. ප්‍රසවන්ට කවර ක්‍රියාවක්දැයි විචාරා දෙමව්පියන්ගේ ගමට යෙමි කීහ. එවිට සිටුපුත්‍රයාත් රථයක් සරහා ඒ රථයට සිටුකුමාරිකාව නන්වා බොහෝ දැසි සද් පරිවාර පිරිවරා යන්නාහ. උන්ට ඉදිරියේ වෙළඳහු කෙණෙක් වෙළඳාම්කොට ගෙණ යන්නාහු දෙගව්වෙන් දෙගව්වට ඉදිරියේ ලැග ලැග යන්නාහ. උන් දෙගට වෙන් දෙගව්වට අල අල තැන සිටු කුමාරිකා ලගිනීය. වෙළදුන් හා කැටුව යන්නාවූ ස්ත්‍රී වෙළදුන් යාදී නුගගසක් මුල ඉඳ දරුවන් වදා තමා හා කැටුව ආ වෙළදුන් පලාගිය හෙයින් දරුවන් නිසා රැඳිනි නම් මාගේ බොහෝ කටයුතු කාරිය නස්නේයයි වැදමසින්ම දරුවන් නුගගසමුල තබා ගියාහ. ඔහු දුක්පත් ස්ත්‍රිය බඩ පිළිසිඳන පමණක් විනා ක්‍රකාධිකාර බුද්ධංකුරයානන් වහන්සේය. එසේ හෙයින් කවුඩෙක් බල්ලෙක් ඒ ලේගඩුව අන්තරාය කළ නුහුනුයේය. ඒ සිටුකුමාරිකාවත් වෙලඳූන් හල ලැග්මේ ඇර නුගගස මුලට ගිය තැනැත්තී පොලවෝ වසා ඔත් කුමාරයන් දැක කාත් නොහඟවා ඒ දරුවන් වඩා බඩබිලි පහරින්ට වනැයි අඟවා වට තිර බඳවා චිලිලා ඇඟ ලේත්ගාගෙණ දරුවන් වඩා මෑත ඇරගෙණ නොවා කිරීපොවා එතනම රඳා තමන්ගේ සමනන්ට පත්ලියා යවුය. ඒ සිටු කුමාරයාගේ දෙමව්පියෝත් එතනට අවුත් දරුවන් වදන නියාවේද ගමට යන්ට ආයේය. දරුවන් වදාපු පසු ගමට යන්නේ ඇයිදැයි තමන්ගේ සමනන්ගේ ගමට ගියාය. ඒ කුමාරයා නුගගසමුල උපන්හෙයින් නිග්‍රෝධ කුමාරයයි නම් තුබූහ. එමදාම ඒ නුවර අනික් සිටානකෙණෙකුන්ගේ බිරින්දක් අත්තක් අල්වාගෙණ පුතනුකෙණෙකුන් වැදුහ. අත්ත අල්වාගෙණ සිට උපන්හෙයින් සඛාකුමාරයෝ යය් නම් තුබූහ. එමදාම සිටානන්ට මෙවර කරන්නාවු සන්නාලියාගේ බිරින්දක් කැපූ කෙළවර රෙදිගොඩක් පිට පුතනුකෙණෙකුන් වැදූහ. උට නම් තබන්නාහු මුත්තිය කුමාරයෝයයි නම් තුබූහ. එවිට සිටානෝත් ඒ එකඳ උපන් කුමාරයන් තුන්දෙනාට කිරිමවුන් සලස්වා සියලු වැටුප් උත්තාංති සලස්වා වැඩිවිය පැමිණිකළ දිසාපාමොක් ආචාරීන් ලඟට ශිල්ප උගන්වා නිසා යවුහ.

සිටු කුමාරයෝ දෙන්න තමන් අත සම්පත් ඇතිසෙයින් දීලා ශිල්ප උගන්නාහ. මුත්තිය කුමාරයා තම අත සම්පත් නැතිහෙයින් නිග්‍රෝධ කුමාරයෝම ශිල්ප උගන්වන්නාහ. මෙසේ තුන්දෙනා ශිල්ප නිමවා ඉගෙණ නුවරට යන්නාහු රටවල් බලාගෙණ නුවරට යම්හයි ඒ ඒ තැන ඇවිදිනාහු බරණැස් නුවරට යන්නාහු එක්තරා දේවාලයක රෑ වැදඹත්තාහ. ඒ කුමාරවරුන් ඒ නුවරට එන්නාට පළමු සත්දවසෙක බරණැස් නුවර රජ්ජුරුවෝ මළාහ. ඒ නුවර රජකමට නිසිකෙණෙකුන් නැතිහෙයින් අමාත්‍යවරු ප්‍රස්රථය නුවර අරුම්හයි කථා කළාහ. ඒ කුමාරවරුන් දේවාලයේ වැදොත් කලට එතන ගසක් උඩ කුකුලෝ දෙන්නෙක් වැදහොත්තාහ. උඩ අත්තේ වැදොත් කුකුළා වර්චස් පාරක්ලාහ. පාත අත්තේ වැදොත් කුකුළාගේ ඉස වැගුරුණේය. එවිට කුකුළුකියන්නේ තෝ මාගේ විවර නොදනිද මාගේ ඉස නානගෙයක්කොට සිතාගෙණිදැයි කෝප විය. එවිට අග අත්තේ වැදොත් කුකුළු කියන්නේ මම නොදත්තෙමි තොපි පාත අත්තේ වැදොත් නියාය. ඊට ක්‍ෂමා කරව නොදැන කෙළෙමි කියාදීත් කෝප විය. එවිට මාගේ තත්ව තමා නොදනිද තමා මට කෝප කරන්නේයයි කියා තා මෙසේම මානීපසු තාගේ තත්ව කියාබලහයි අගඅත්තේ වැදොත් කුකුළු කීය. පාත වැදොත් කුකුළු එවිට කියන්නේ මාගේ තත්ව අසව යම් කෙණෙක් මා මරා මාගේ මස්කැවුනම් එදවසම සේසත් දාසෙන් ලැබෙන්නේයයි කීහ. එවිට උඩ අත්තේ වැදොත් කුකුළු කියන්නේ තාගේ මස්කෑ කෙණෙකුන් ලබන්නේම සේසත් දාසෙක් වේද මෙපමණක්ගෙණ තාපෑය. මාගේ පඤචමධුර මාංශය යම් කෙණෙක් කෑවෝනම් රාජ්‍යය ලබති ඝණමාංශය කෑකෙණෙක් සෙනෙවිරත් ධුරය ලබති ඇට නහර මුසු මස් කැවුනම් භාණ්ඩාගාරයේ නායකකම් කරන්නේ වේදැයි කීයේය. එවිට කුකුලන් දෙන්ා කථාකරණ කලට නිග්‍රෝධ කුමාරයොත් ශාඛා කුමාරයෝත් දෙන්න වැදහෙව නිදන්නාහ. මුත්තිය කුමාරයෝ නිග්‍රෝධ කුමාරයන්ගේ පය උකුලේ තබාගෙණ මැඩ මැඩ උන්නාහූ මේ කුකුළන් දෙන්නාගේ කථාව අසා දවස දාසලැබෙන කුකුලන් කිම්ද රාජ්ජය හා සෙනෙවිරත්ධුරය හා භාණ්ඩාගාර නායකකම් ලබන්නා මෙසේවූ කුකුළාවේද යහපතැයි සිතා නිග්‍රෝධ කුමාරයන්ගේ පය උකුලෙන්බා සෙමින් ගසට නැගී අත්තේ වැදොත් කුකුළා අල්වාගෙණ මරා පඤචමධුර මාංශය වෙනම පිස තබා ඝණමාංශය වෙනම පිස තබා ඇට නහර මාංශය වෙනම පිස තබා වැදහෙව නිදන කුමාරවරුන් දෙන්නා පුබුදුවා නිග්‍රෝධ කුමාරයන්ට රාජ්ජය ලැබෙන මාංශ ලා සඛාකුමාරයින්ට සෙනෙවිරත් ධුරය ලැබෙන මාංශය ලා තුමු භාණ්ඩාගාරයේ නායක කම් ලැබෙන මාංශ ලාගෙණ කා මුත්තිය කුමාරයෝ කියන්නාහු නිග්‍රෝධ කුමාරයන්ට රජ්ජය ලැබෙයි. සඛා කුමාරයන්ට සෙනෙවිරත් ධුරය ලැබෙයි මට භාණ්ඩාගාර නායකකම් ලැබෙන්නේයයි කීහ.

එවිට නිග්‍රෝධාරාමයන් හා ශාඛා කුමාරයෝ කියන්නාහු තොපට දැනෙන්නේ කෙසේදැයි විචාළාහ. එවිට මුත්තිය කුමාරයෝ කුකුළා කී ප්‍රවෘත්තිය කීයේය. නිග්‍රෝධ කුමාරයෝ යහපතැයි කියා පාන්වන්නාට පළමු මූන සෝදා තුන්දෙනම මගුල් උයනට ගොසින් නිග්‍රෝධ කුමාරයෝ මගුල් ශාලාවට නැගී ඉවසා කඩලාගෙණ වැදොත්තාහ. ශාඛ්‍යකුමාරයන් හා මුත්තිය කුමාරයා හා දෙන්නම බිම වැදොත්තාහ. ඒ වෙලාවට පුස්රථයපිට පඤචරාජකකුධ භාණ්ඩ තබා පුස්රථය අලහ. රථය මගුල් උයනට ගොසින් මගුල්සල වට වැදොත් නිග්‍රෝධ කුමාරයන් පාමුලට ගොසින් රථය පස්සැපෑ නුවරට මුනලා සිටියේය. එවිට පුරෝහිත බ්‍රාහ්මණ වැදොත් නිග්‍රෝධ කුමාරයන් පාමුලට ගොස් පයවසා තුබු ඉන්කඩ ඉවත්කොට පය ලක්‍ෂණ බලා බරණැස් නුවර තබා ජම්බුද්වීපය එකච්ඡත්‍රකොට රාජ්‍ය කරන්ට ලක්ෂණ දැක. ධෛර්ය පරීක්ෂාකරන්නට උවමැනවයි සිතා පඤචාංගික තූර්යනාදය එකවිට පැවැත්වූහ. එවිට නිග්‍රෝධ කුමාරයෝ කිසි චකිතයකින් නොවි ඉවසා තිබූ ඉනකඩ ඉවත්කොට බලා ඇලටනැමි මදක්වැදහෙව නැගීසිට ආසනපිට උන්නාහ. එවිට පුරෝහිත බ්‍රාහ්මණයා කියන්නේ ස්වාමිනි නුඹ වහන්සේට රාජ්ජය පැමිණියේය. රාජ්‍යය කළමැනවයි කීහ. නිග්‍රෝධ කුමාරයෝ මෙනුවර රජ්ජුරුවන් වහන්සේ කොයිදැයි විචාළාහ. එපවත් අසා මළහයි කීහ. රාජකුමාරවරු නැද්දැයි කීහ. රාජකුමාරවරු නැත නුඹ වහ්නසේ රාජ්‍යය කළමැනවයි කීහ. එවිට යහපතැයි ගිවිස වටතිර බඳවා දැලිරැවුළු අන්දම් තබා රුවන් රැසක් පිට සිටුවා අභිෂේකකොට රාජ්‍යයට පැමිණිවුහ. එවිට නිග්‍රෝධ රජ්ජුරුවෝ ශාඛා තුමාරයන්ට සෙනෙවිරත් ධුරය දුන්නාහ. මුත්තිය කුමාරයෝ රජ්ජුරුවන් හා කැටිව රජගෙට ගියහ. රජ්ජුරුවෝ ශාඛා සෙනෙවි රදුන්ට කියන්නාහු අපගේ දෙමව්පියනුත් කැඳවාගෙණ එවයි කීහ. ශාඛා සෙනවිරද්දු මට බැරිය නොයමි කීහ. රජ්ජුරුවෝත් මුත්තිය කුමාරයන් කැඳවා රජගහනුවරට ගොසින් අපගේ දෙමාපියනුත් තොපගේ දෙමව් පියනුත් කැඳවාගෙණ එවයි කිහ. මුත්තිය කුමාරයෝ යහපතැයි ගිවිස රජගහනුවරට ගොස් රජ්ජුරුවන්ගේ දෙමව්පියන් කැන්දුහ. අපගේ සම්පත් ඇත. අප එන්නේ නැතැයි කීය. ශාඛා කුමාරයන්ගේ දෙමව්පියනුත් කැන්දූහ. ඔයිත් කියන්නාහු අපට පොහොසත්කම එපයි අප එන්නෙනැතැයි කීහ. මුත්තිය කුමාර තමාගේ දෙමව්පියන් කැන්දුගමනේ සන්නාලි මෙවර පමණ ඇත අප එන්නේ නැතැයි කීහ. මුත්තිය කුමාරයෝ දෙවෙනිව බරණැස් නුවරට අවුත් ශාඛාසෙනෙවිරදුන්ගේ ගෙට අවුත් බත්කා ගමන් විඩා නිවාගතිමි සිතා සෙනෙවිරදුන්ගේ ගෙටගොස් දොරකඩ සිට කියන්නේ ශාඛාසෙනෙවිරදුන්ගේ යහළුවූ මුත්තිය කුමාරයෝ ආවෝයයි කියාලවයි මිනිසුන් අත කියායවුහ.

එවිට සෙනෙවිරදු බත් කමින් ඉඳ සිතන්නේ රාජ්‍යයට පැමිණෙන මාංශය නුදුන්නේය. සෙනෙවිරත්ධුරයට පැමිණෙන මාංශයදුන්නේයයි කෝපයෙන් බස් කා ඉක්බිති දොර අවුත් කියන්නේ මුත්තිය කුමාරයෝ නම් කවුරුද මුන් අඳූනන්නේ කවුරුදැයි කියමින් මුන් සෙව්වෝද අපට මිත්‍රයෝය තුළූ අනුභව කියා අන්නවා බන්දවා පිටකර ගෙණ නෙරපූහ. එවිට මුත්තිය කුමාරයෝ සෙනවිරදුන්ගෙන් සංග්‍රහ ලදිමි. රජ්ජුරුවෝ කුමක් කෙරෙද්දෝහෝයි එයිත් පරීක්ෂාකරමි සිතා රජ ගෙට ගොස් රජ්ජුරුවන්ඩ කියා යවීය. එවිට රජ්ජුරුවෝ සිංහාසනයෙන් උන්නාහු මුත්තිය කුමාරයන් ආ නියාව අසා ගොස් මුත්තිය කුමාරයන් සිපගෙණ යහළු කිමෙක්ද මාගේ දෙමව්පියෝ නොයෙද්ද විචාළාහ. තමා කීපවතුත් නොවෙම්මැයි කීපවතුත් රජ්ජුරුවන්ට කීයේය. ශාඛාසෙනෙවිරද්දු මුත්තිය කුමාර තමාට කළදෙය රජ්ජුරුවන්ට කියා බිඳවාපු නම් නපුරැයි සිතා තමා කළ දෙය මා කෙරේ භයින් දැක්කදී කිය නොහෙන්නේ වේදැයි සිතා මුත්තිය කුමාරයන්ට පස්සේ ආයේය. මුක්තිය කුමාර රජ්ජුරුවන් දුටු ගමනේ රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේත් රාජ්ජය ලද්දේ මා නිසාය. ශාඛා සෙනෙවිරදුන් සෙනෙවිරත් ධුරය ලද්දේත් මා නිසාය. එසේහෙයින් ගමන් විඩාව ශාඛා සෙනෙවිරදුන්ගේ ගෙටගොස් ගමන් විඩාව සන්හිඳුවා ගණිමි සිතා ගියෙමි මටනොකී නොකළ ගහටයෙක් නැත නුඹ වහන්සේට කියා කළෝද නොකියා කළෝදැයි කියේය. රජ්ජුරුවෝ කියන්නාහු උන් මට කීයේ නැත. මාලත් රාජ්ජය තාපසන්තකය. තොප නිසාය. මා රාජ්ජය ලද්දේයයි කියා මම මෙසේවූ අමැදහත්කම් කරම්දැයි කියා රජ්ජුරුවෝ කියන්නාහු එඹල මුත්තිය කුමාරයෙනි අසත්පුරුෂයාගේ ගුණ නම් බැදපු බිත්තරරෙයක් සේය. බැදපු බිත්තර වපුට සස්‍ය ඵලදෙයක් දැක්ක නොහැකිද, එමෙන් දුර්ජනයාට කෙතෙක් සත්පුරුෂකම් කලත් ඒ අසත් පුරුෂම වන්නේය. සත්පුරුෂයෝ නම් යහපත් බිජුවක් සාරභූමියක වපුළකල යහපත් සස්‍යඵල ලබන්නාසේ සත්පුරුෂයාට කළ උපකාර මහත් ඉෂ්ටවිපාක දෙන්නේයයි කියා රජ්ජුරුවෝ වට සිටි අමාත්‍යයන්ට කියන්නාහු අමාත්‍යයෙනි මා රාජ්ජය ලද්දේත් උන් නිසාය. ශාඛා සෙනෙවිරදුන් සෙනවිරත් ධුරය ලද්දේත් උන් නිසාය. එසේවූ තැනැත්තන් මුන් ගෙට ගිය ගමනේ බොහෝ සංග්‍රහකොට උපස්ථාන කළමනා තැන මුන්ට නොකී නොකළ ගහටයක් නැත්ල මෙසේවූ අමැදහත් කෙළෙහි උපකාර නොදන්නා තෙනැත්තහු මෙතන සිටින මා අභිප්‍රාය නැත තුළූගෙණගොස් අඩයටි තෝමරාදීයෙන් ඇන මරාපියවයි කියා මුත්තිය කුමාරයෙනි තොපි සෙනවිරත් ධුරය කරවයි කීහ. එවිට මුත්තිය කුමාර රජ්ජ්රුවන් වහන්සේ මා නිසා සෙනෙවිරදුන් ජිවිතක්ෂයට පමුණා සෙනවිරත් ධුරයෙනුත් පිරිහෙන්නේයයි සිතා මා නිසා මුන්ගේ ජිවිතයටත් අර්ථයටත් විනාශයක් නොපැමිණේවයි රජ්ජුරුවන් වහන්සේ ඒ කවරේද වරදක් කළායයි මුන් ජිවිතක්ෂයටම පැමිණිවූ කල ඉදිරියේ මුන්ලවා කරවාගත මනා කටයුත්තක් පෙණුනුවිට මුන් උපදවාගත හැකිද මූ බිනුයේ මට වේද නුඹ වහන්සේ ක්‍ෂමාකළ මැනැවයි කීහෙයින් එසේ වීනම් ජිවිතදාන දුනුම්හ. උන්ගේ සෙනෙවිරත් ධුරය තෙපි කරවයි කීහ. එවිට මුත්තිය කුමාරයෝ ස්වාමිනි මූ කටයුතු කිරීමෙහි දක්ෂයෝය. සෙනවිරත් ධුරයෙහිම සිටිත්වයි කියා ස්ථානාන්තරයෙන් නොපිරිහෙණලෙසට සැලැස්වූහ. එවිට රජ්ජුරුවෝ මුත්තිය කුමාරයෙනි තොපි එසේවිනම් සේනාවට පඩි ප්‍රසාද දීමෙන් නායකත්වය ඇති භාණ්ඩගාර නායකකම් කරවයි කියා භාණ්ඩාගාරික නායක කමට මුත්තිය කුමාරයන් සැලැස්වූහ. එතැන්පටන් භාණ්ඩාගාර නායක කම් ඇතිවිය. මුත්තිය කුමාරයන්ට ගෙවල් දොරවල් හා අඹුදරුවන් ඇතිවී මහත් විභවයකට පැමිණ තමන් දරුවන් ට අවවාද කියන්නාහු දරුවෙනි යහපත උවත් නපුර උවත් නිග්‍රෝධ රජ්ජුරුවන්ට සේවය කොට ඉඳිතොත් විනා ශාඛා සෙනෙවිරදුන් හා භජනය නොකරව, ශාඛා සෙනෙවිරදුන් ගෙන් කෙතරම් යසස් ලබන්නා බලාත් නිග්‍රෝධ රජ්ජුරුවන්ගෙන් ආඥානය නොකර නිග්‍රෝධ රජ්ජුරුවන්ටම සේවය කරවයි තමන්ගේ දරුවන්ට අවවාද කියා තුන්දෙන කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාරා මේ නිග්‍රෝධ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි ශාඛා සෙනෙවි රදු නම් දේවදත්ත ස්ථවිරය. මුත්තිය කුමාරයෝ නම් ආනන්ද ස්ථවිරයෝය. නිග්‍රෝධ රජ්ජුරුවෝ නම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේක.